2014/10/12

නුඹ ඇවිදින්



ඉර ඇහැරී දිගැසි සලන
වසන්තයේ අවසන් දින
නුඹ ඇවිදින් නිද්‍රාවෙන්
මුදවා මා ගෙන ළමැදට

ඇහැරුණු මල්, විහඟ නාද
බොඳවී ගිය තැන හඬාන
ඇඟිලි ගැණිමු ඇදෙන තුරා
සහසක් තරු අප හොයාන

සියල්ලන්ම නිදි ගත් රෑ
පටලා නුඹ මගේ දෑත
මිමිණූ තැන දෙසවන් සිප
නුඹේය දැන් මුළු ලෝකෙම

හුරු වූයෙමි විඳගන්නට
නෙක ස්වර මැව් රැහැයි නාද
කළු කඳු හා වෙළී පාන
මීදුම් කුමරියන් හාද

කෞමදියන් අයා දෑස
මුමුණන පෙම් ගීත නාද
නෑසෙන ආඩම්බර ගති
පාන සඳේ නේක භාව

නුඹට මටම නිමවුණා ද
නොතිත් නිහැඬියාව බිඳින
මා වවුලන් අත්වැල් පෑ
වළා අපට ගයන ගීත

දරා නොහෙන සීත සුළං
වටලයි මා දකිනු රිසිව
කිටි කිටියේ නුඹට ගුළිව
උණුහුම මා හොයන තාල

වෙරළ කොණක දැස බැඳන්
රැහැණින් සඳ කිරණ ලෑව
දෙකොපුල් නුඹෙ හොයන මගේ
හද හෙමිහිට ගැහෙන රාව

සොඳුර නැවත කුමකට මට
සුවය සදන වසත් කාල
දෙන්න එපා මිදී යන්න
හඳ මිදෙනා හීත රෑට

නදීරා මධුවන්ති රත්නායක
(Candleena)
2014 ඔක්තෝබර් 07

2014/10/04

බැර ලෝහ



යාන්තම් තරලමය ඝන
පරිපූර්ණ තද නිහඬතාවෙක හිඳ
බැර ලෝහ ගීතයක් මහ හඬින් ඇරඹෙන
ඒ පළමු තප්පරය පටන් ගන්නා තැන

අහිමිව යයි මට - මගේ යැයි කී හිත
නුඹේ පිටපත් අසූ දහසක් පැමිණ එකවර
මවනු ඇත්තේ හනික - අනුරාගයේ උත්කර්ෂය
බදා මා - අඟලකදු නොඉතිරි කොට
අග්නිය ද තුසරය ද ධූලකය ද හාමු කොට

උපරිමැති පැණි රසක් එහි කවා - පොවා මට
එතැන කල්පයක් කොට එතප්පරය මත
නරක දෑ කෝටියක් කොට එකල්පය තුල 
නික්ම ඉගිලී ඇත - රුදු සිලා සිළුව නුඹ
නැවත මා දෙනෙතු හැර බලන කල

සහන් පද්මසංඛ පීරිස්
(THЕ SAHAN)
2014 ඔක්තෝබර් 02

2014/10/03

සහෝදර සකර්බර්ග්



ඇහි බැම්ම හැඩ කල
තොල් පාට වැඩි කල
නෝනලාටම වෙන්ව තිබු
මාධ්‍ය සාකච්ඡා මේස
වෙසඟනන්ට ද විවර කල
සහෝදර සකර්බර්ග්

සහන් පද්මසංඛ පීරිස්
(THЕ SAHAN)
2014 ඔක්තෝබර් 03

2014/10/02

නුඹට මට හැර සැමට



උල්පතින් මතුවූ මුදු
නිකැළැල් ව ගං දියක්
දනී කෙළවර ඇතැයි 
ලවණ මුසු සමුදුරක්

වළාවන් හා ඇතත්
සුපුරුදු වූ ප්‍රේමයක්
දනියි සියොතුන් දෙතැයි
තටු තෙමන වැහි දියත්

දිණිඳු හා හාද වී
නුබ ගැබෙහි රැදෙන මුත්
දනියි හැම රැයක සඳු
හැර දමා යන බවත්

නුඹට මට හැර සැමට
අසම්මත ප්‍රේමයක්
දනිමි කෙළවර ඇතැයි
හිත රිදෙන දුක් කවක්
නදීරා මධුවන්ති රත්නායක
(CANDLEENA)
2014 අගෝස්තු 14

picture taken from here

2014/09/26

රිදුම



අහම්බය නමැති එක කල්පයක
ඇබිති හැඩ ගත් සිනිඳු තප්පරෙක
ලියා තිබුණා නොවෙද පිය සොඳුර
අඹ මලක් පිපෙන විට
එහි රේණු සැලෙන විට
නුඹේ ඔය නිල් දිගැස
මගේ ඇහේ වදින ලෙස

ප්‍රේමයෙහි සුරංගන අද මෙලෙස
මගේ හිස සිඹින මුත් බැති සිතින
ඉනුවෙ කඳුලැළි නොවෙද පිය සොඳුර
එදා ඇස් ගැටි මොහොත
පටන් සැදි රිදුමකට
ගොදුරු වුණි මගේ හද
කිසි දිනෙක සුව නොවන

සහන් පද්මසංඛ පීරිස්
(THЕ SAHAN)
2014 සැප්තැම්බර් 25


2014/09/10

එන්න මගෙ එල්ලෙන්න



පරදවා දළ රළ සයුර
සොයාගත් පොඩි දූපතක
උසම තැන සෙවූ මම
කරවීමි මාළිගාවක්
හැකි ලෙසින්
මතකයේ වලාකුල් මත
වාඩි වී සිටි දිළිඳු වූ දැරියට

ඇය ද එය නොදැන
ලොව ද එය නොදැන
දූපතට පමණක් අයිති වූ කාලයෙන්
කල්පයක් ගත වුව ද
නොවුනි එක පලුද්දක්
මාළිගා බිත්ති මත

කල්පයේ හැම කැබැල්ලක් තුල
හෑරුවෙමි...
ගල් බොරළු වැදී තුවාල වන
ඇඟිලි තුඩගින් වැගිරුණු
රුධිරයෙන් පොඟවමින් හිමිහිට
කාෂ්ඨක මහ පොළව

ගැඹුරු පතුලෙන් අතට ගත්තෙමි
දුටු සෙනඟ ඇස් අන්ධ කරවන
ලොවෙන් සැඟවුණු අරුම මිණි කැට
ලොවට නවමු වු අරුම අබරණ

මට කුමකට ද මේ වස්තුව
අමිල වූ වස්තුවක්
මගෙ හිතේ සිටි කල
අබරණ පැළඳුවෙමි ඇගෙ කර
දිළිඳු බව ඇගෙ ගියෙ ද කොයි අත?

ඉතින් දැන් ඈ කුමරියකි
මාළිගාවක වෙසෙන
නොමැත්තක් නොමැති
හරි පුංචි දූපතක

කුමරි මෝරද්දි තව තව
දූපත මදි ය ඇගෙ හිතට
ලෝකටම දැක බලා ගන්නට
තමයි ඇගෙ හිත නැගුණු අදහස...

ඉතින් ඈ විටින් විට
මුහුදු, සමුදුරු උඩින්
චාරිකා කරවීය දස දිග
මාලිගාවෙහි සිටින
කාලෙ අඩු විය ටිකෙන් ටික

ගමන් වියදමට ඇගෙ
කර පැළඳි රන් මාල
විකිණුවෙද උකස් කලෙද
මම නොදන්නා දෙයකි තව

ටිකෙන් ටික ඇය
"දිළිඳු වූ කුමරියක්" වන බව
හිත හිතා සිටි හවස් යාමෙක
මාළිගාවෙහි බිත්තියක කොණ
පිපිරි ගිය සළකුණක් දැක
කඳුළු පොඩ්ඩක් ඇඟිල්ලට ගෙන
බිත්තියේ මේ කවිය ලියනෙමි
කාටවත් නොපෙනෙනා බව දැන

කවිය ලියූ අවසන
මාලිගාවෙහි බාල්කයක්
හුරතලෙන් මට අඬගසයි
"එන්න මගෙ එල්ලෙන්න"

සහන් පද්මසංඛ පීරිස්
(THЕ SAHAN)
2014 සැප්තැම්බර් 10